Uncategorized

වී ශාකයේ ජිවන චක්‍රය පිළිබඳ දළ අවබෝධය


වී ශාකයේ ජිවන චක්‍රය සඳහා ගතකරන දින/මාස ගණන අනුව කාණ්ඩවලට වෙන් කරනවා
වයස් කාණ්ඩය ජිවන චක්‍ර‍යේ දින ගණන උදාහරණ කිහිපයක්
මාස 2 1/2 80-90 Ld 253,Bg 251,Ld 250
මාස 3 90-100 Bg 300, At 311,
මාස 3 1/2 100-112 At362,Ld 368,Bw 364
මාස 4 112-120 Bw 400

මේ එක් එක් කාණ්ඩය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි අස්වනු දෙන නව දියුණු වී ප්‍රභේද හදුන්වා දී තිබෙනවා.උදාහරණ විදියට වගුවෙ දාල තියෙන්නෙ ඒවා තමයි. ඒවා දිහා බලලත් අපිට ඒ වී වර්ගය අයත් වෙන කාණ්ඩය වගේ වැදගත් තොරතුරු දැනගන්න පුලුවනි.
පැහැදිලි කලොත්.
Ld 253- ලබුදුව වී පර්යේෂණ ආයතනයෙන් නිපදවු මාස2 ½ වයස් කාණ්ඩයට අයත් වී ප්‍රභේදයකි.
Bg 300- බතලේගොඩ වී පර්යේෂණ ආයතනයෙන් නිපදවු මාස3 කාණ්ඩයට අයත් වී ප්‍රභේදයකි.
At 362- අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයෙන් නිපදවු මාස3 ½ වයස් කාණ්ඩයට අයත් වී ප්‍රභේදයකි.
Bw 367- බෝඹුවල වී පර්යේෂණ ආයතනයෙන් නිපදවු මාස3 ½ වයස් කාණ්ඩයට අයත් වී ප්‍රභේදයකි.
රූපයේ පෙන්නුම් කරන විදියට ප්‍රධාන වර්ධන අවධි 3යි. අපි මේ එක් එක් වර්ධන අවධි පිලිබඳව ගැඹුරින් අධ්‍යනය කරල බලමු සරු අස්වැන්නක් ලබා ගන්න කොහොමද ඒව වැදගත් වෙන්නෙ කියල….
1 වර්ධක අවධිය
අපි වගා කරන වී වර්ගය(ප්‍රභේදය) අයත්වෙන වයස් කාණ්ඩය අනුව වර්ධක වර්ධනයට ගතවන දින ගණන /කාලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මාස 31/2 වර්ගවල වපුරා දින 40කින් වර්ධක අවධිය අවසන් වෙනවා. සරු අස්වැන්නක් ගන්න නම් අපට හොඳ නිරෝගී ශක්තිමත් පැළයක් හදාගන්න ඕනි. ශක්තිමත් ගෙයක් හදන්න නම් ශක්තිමත් අඩිතාලමක් අවශ්‍යමයි. අන්න ඒවගේ ප්‍රශස්ථ වර්ධනයක් ලබාගන්න පුලුවන් වටපිටාව අපි හදල දෙන්න ඕන.කොහොමද අපි ඒක හදල දෙන්නෙ?එහෙම නම් ප්‍රශස්ථ වර්ධනයක් සඳහා වැදගත් සාධක මොනවද කියලා අපි දැනගන්න ඕන. ආලෝකය,පෝෂක, ජලය,වාතාශ්‍රය/ඉඩකඩ,පස මේව තමයි ප්‍රධාන සාධක. ආලෝකයට හුඟක් ප්‍රිය ශාකයක් තමයි ගොයම් ගස. ඉතින් කුඹුරේ වදුළ, විශාල ගස් නිසා සෙවන තියෙනවා නම්, වල් පැල නිසාත් සෙවන වෙනවා නම්, ගොයම් ගස කැමති වෙනවද? කොහෙත්ම නැහැ.ඒ වගේම පෝෂක , වසර දහස් ගණනක් කුඹුරු කරපු පසෙන් අස්වැන්න විදියට වී, පිදුරැ අවුරුද්දකට දෙවතාව බැගින් කොපමණ ඉවත් කරගෙන තියෙද?අපේ කුඹුරේ පස සරුයි කියල කියන්න පුලුවන්ද?ඉතින් ඒ වෙනුවට මොනවද අපි දුන්නෙ? සහනාධාර පොහොර ටික දැම්මා? සහනාධාර පොහොර වල තියෙන්නෙ මොනවද? නයිට්‍රජන්(N), පොස්ෆරස්(P), පොටෑසියම්(K). මේ වර්ග 3 විතරක් ප්‍රමාණවත්ද? කොහෙත්ම නැහැ. ප්‍රශස්ථ වර්ධනයට තවත් පෝෂක රාශියක් අවශ්‍යයි. එහෙම නම් පස සාරවත් කරගතයුතුයි. ඒ සදහා කොළ පොහොර, සත්ව පොහොර එකතු කර ගතයුතුයි.
ඒවගේම තමයි නිසි වෙලාවට වතුර නොලැබුනොත් ඒත් වර්ධනය අඩාල වෙනවා. එහෙමම තමයි වාතාශ්‍රය/ඉඩකඩ කියන කාරණය. මොකද අක්කරයට වී බුසල් 2ට වැඩිය වැපිරුවම ගොයම් ගස් හැදිගෙන එනවිට ගොයම් ගස් අතරම ඉඩකඩ පොහොර වෙනුවෙන් තරඟයක් ඇතිවෙනවා. ඒවගේම ගොයම් පැල ගහනය/ඝනත්වය වැඩි වුනාම ගොයම් පැල අතර තියෙන ක්ෂුද්‍ර පරිසයේ වාතාශ්‍රය ගමන් කරන්නෙ නැහැ. මේනිසා වාතයේ ඉන්න රෝගකාරක ක්ෂුද්‍ර ජිවින්ගේ ආසාදනවලට ගොයම් පැල පහසුවෙන් ගොදුරු වෙනවා.රෝග ව්‍යාප්තියත් සීඝ්‍ර වෙනවා. මේ විදියට වල් පැල වැඩි වුනත් ඉඩකඩ පොහොර වෙනුවෙන් ලොකු තරඟයක් ඇතිවෙනවා. අවසානයේ එයා කැමති පරිසරය අපි ලබාදුන්නද?

මේ දේවල්වල අහිතකර බලපැම නිසා අවසානයේ ශක්තිමත් දිරියෙන් වැඩි පඳුරු/රිකිළි දමන එක අඩාල වෙලා, දුර්වල දිරියෙන් අඩු රිකිළි දැමීමක් සිදුවෙනවා. දුර්වල රිකිළි වලින් කරල් හටගැනිමක් සිදුනොවන අතර කරල් හට ගත්තද ඒවා බොල් වන ප්‍රතිශතය ඉතා වැඩියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස තනි ගහට තනි කරලක් ලෙස ඉතා අඩු අස්වැන්නක් ලබාදෙනවා. මේ ආකාරයට ගොයම් ගහේ වර්ධන කාලය, සරු අස්වැන්නක් ලබාගැනිමේදි කොයිතරම් දුරට වැදගත් ද කියන කාරණය පැහැදිලියි කියල හිතනවා..

2 ප්‍රජනන අවධිය.
ගොයම් ගසේ වර්ධන අවධිය, අයත් වන වයස් කාණ්ඩය අනුව වෙනස් වුනාට ප්‍රජනන අවධිය එහෙම වෙනස් වෙන්නෙ නැහැ. දින 35 ක් ප්‍රජනන අවධිය විදියට සලකනවා. මාස 3 1/2 වයස් කාණ්ඩයේ වී ප්‍රභේදවල වපුරපු දිනේ සිට ඉදිරියට දින40- 75 දක්වා කාලය ප්‍රජනන අවධිය වෙනවා. මේ කාලය තුලින් සරු අස්වැන්නකට දැඩිම බලපෑම ඇතිවන කාලසිමාව දින 40-45 (නිවැරිදිම දිනය 42, ඒත් ක්ෂේත්‍රයේ ගොයම් ගස් වල වර්ධනය ඒකාකාරි නොවන නිසා අපි මේක කාල පරාසයක් විදියට දෙනවා) මේ තමයි මල සලකුණු වෙන කාලය. ඒ කියන්නෙ නිපදවන කරල් සංඛ්‍යාව සහ කරලක පවතින බිජ සංඛ්‍යාව තීරණය කරන මොහොත. ඒ කියන්නෙ ප්‍රධාන අස්වනු තීරක සංරචක 2 ක් තීරණය කරන අවස්ථාව. මේ දිනවලින් පසුව මොන විදියෙ ගුණාත්මයෙන් ඉහළ පොහෙර යෙදුව ද නිපදවන කරල් සංඛ්‍යාව වත් කරලක ඇතිවන බිජ සංඛ්‍යාවවත් වෙනස් කරන්න බැහැ. මල සලකුණු වෙන අවස්ථාවෙදි ගසේ අන්තර්ගත වෙන පොටෑසියමි (K) ප්‍රමාණය ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටුකරනවා නිපදවන කරල් සංඛ්‍යාව සහ කරලක පවතින බිජ සංඛ්‍යාව තිරණය කිරිමේදි. කෘෂිකර්ම දෙපාර්තමේනතුව වී සඳහා පොහොර නිර්දේශය සකස් කරල තියෙන්නේ මේ කරුණු පිළිබඳව පර්යේෂණ කරලා..ආවට ගියාට පොහොර යොදලා හොද ප්‍රතිඵල ගන්න බැහැ කියන කාරණේ පැහැදිලි වුනා කියල හිතනව.

ඒවගේම මල් පිදෙන්නෙ,පරාගනය කියන කාරනා සිදුවෙන්නෙත් වපුරලා දින 65-75 අතර කාලෙදි තමයි. ඉතින් මේ කාලයෙ කාලගුණය බොහොම යහපත් විම අස්නවනු වැඩිවෙන්න හේතුවෙනවා. වී මල 98% විතරම ස්වපරාගණය නැමති සංසිද්ධියෙන් තමා පරාගනය සිදුවෙන්නෙ. ඉතින් උදේ 7 විතර ඉදන් සවස 2 විතර වෙනකම් මල විවෘත වෙලා තියෙනවා. මඳ සුළඟ තිබිම පරාගනය සාර්ථක විමට රුකුලක්. ඒත් දැඩි සුළඟ, වැසි සහිත කාලගුණය, සුර්යයා ආලෝකය නොමැති වීම පරාගනය අසාර්ථක වීමට බලපානව. ඒවගේම මේ කාලය තුල පරිසර උෂ්ණත්වය ඕනෑවට වඩා ඉහළයාමත් පරාග වියලියාමට හේතුවෙනවා. ඒකත් පරාගනය අසාර්ථක වීමට බලපානවා. කන්න රැස්වීමෙදි දින තිරණය කරන විට පිදෙන කාලයේ ප්‍රදේශයේ පවතින කාලගුණික තත්වය අනුමාන කරන්න වෙනවා.ඉතිං වැඩ් අස්වනු ගන්න නම් විද්‍යානුකූලව මේ කරුණු පිළිබඳව දැනුවත් වෙලා තියෙන එක වටිනවා නේද?

  1. පරිණත අවධිය
    මේ අවධියත් අයත් වන වයස් කාණ්ඩය අනුව වෙනස් වෙන්නෙ නැහැ. සාමාන්‍යෙයෙන් දින 30 පමණ කාලයකදි කිරි පිරීම, ඝනවීම,මේරීම කියන කාරණා සිදුවෙලා ගොයම් ගසේ ජිවන චක්‍රය සම්පුර්ණ වෙනවා. හැබැයි අස්වනු වැඩිකර ගන්න අපිට මේ කාලසිමාව තුල මොකුත්ම කරන්න බැහැ. තේරුම් ගතයුතු වැදගත් කාරණේ ඒක. තියෙන අස්වනු රැක ගැනීම විතරයි කරන්න පුලුවන්.
    හොඳයි අපි මේ සරලව කතා කරල අවසන් උනේ වී ශාකයේ ජීවන චක්‍රය පිළිබඳව…මේ ගැන දැනගැනීම වැදගත් වෙනවා සරු අස්වැන්නක් කරා යන ගමන සාර්ථක කර ගන්න….
    එහෙමනම් (02) නිවැරදි සැලසුම වැඩි අස්වැන්නක් සඳහා බලපාන්නෙ කොහොමද කියල අපි ඊළඟ ලිපියෙන් කතා කරමු…..