Uncategorized

කෘෂි රක්ෂණයේ රාජ්‍ය සලකුණ

 දකුණු ආසියාවේ පරමාදර්ශී කෘෂිරක්‍ෂණ ආයතනය වීමේ දැක්ම පෙරදැරි කොටගෙන දේශීය          කෘෂිකර්මාන්තයේ අඛණ්ඩ පැවැත්මට විශාල දායකත්වයක් සපයමින් මණ්ඩලය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම පසුබිම තුළ ආයතනයේ ස්ථිරසාර පැවැත්ම හා තෘප්තිමත් පාරිභෝගික සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි අභියෝග ඉතා සාර්ථක ලෙස ජයගත් වසරක් ලෙස 2017 වසර සඳහන් කළ හැක. 2017 වර්ෂය තුල මණ්ඩලයේ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමය රු.මි.42.3 ක ශුද්ධ ලාභයක් ඉපයීමට සමත් විය. මෙම ප්‍රගතිය ලඟා කරගැනීමට මූලික හේතු වනුයේ 2017 වර්ෂය තුල කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම මඟින් උපයාගත් රු.මි.80.9 ක මෙහෙයුම් ලාභයයි. 

2014/2015 මහ කන්නයේ සිට මණ්ඩලය විසින් රජයේ සහනාධාර පොහොර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද “කෙතට අරුණ” අනිවාර්ය වගා රක්‍ෂණ යෝජනා ක්‍රමය 2017 වර්ෂයේ සිට රජයේ තීරණ මත මණ්ඩලයට ක්‍රියාත්මක කිරීමට නොලැබීම හේතුකොට ගෙන මණ්ඩලයේ සමස්ථ අදායම රු.මි.156.4 දක්වා අඩුවීමක් පෙන්නුම් කර ඇත. එසේ වුවද, මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද අනෙකුත් වගා රක්‍ෂණ යෝජනා ක්‍රමයන්ගේ සීඝ්‍ර ප්‍රගතියක් 2017 වර්ෂයේදී පෙන්නුම් කළ අතර, එය පෙර වර්ෂයට සාපේක්‍ෂව 79%ක වර්ධනයකි.

එමෙන්ම, 2016/2017 මහ කන්නයේදීද ජාතික ව්‍යසනයක්ව දිවයින පුරා පැවති දැඩි නියඟයෙන් විපතට පත් ගොවීන් 523,336 දෙනෙකු  වෙත වගා හානි වන්දි වශයෙන් රු.මි.5,233ක මුදලක් 2017 වර්ෂයේදී ගෙවීමටද මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. වළක්වාගත නොහැකි ආපදාවන් හේතු කොටගෙන සිදුවන වගා හානි වලදී ගොවි ජනතාවගේ ආර්ථිකය ස්ථායී කිරීමේ රජයේ වගකීම ඉටුකිරීම පැවරී ඇති රාජ්‍ය ආයතනය වශයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් එම වගකීම මැනවින් ඉටුකළ අවස්ථාවක් ලෙස මෙම වගා හානි වන්දි මුදල් ගෙවීම හැඳින්විය හැක.

වාර්ෂික වාරික ආදායම 2013 සිට 2017 දක්වා

  2013 (රු.මිලි.) 2014 (රු.මිලි.) 2015 (රු.මිලි.) 2016 (රු.මිලි.) 2017 (රු.මිලි.)
වගා රක්‍ෂණ යෝජනා ක්‍රම 82.18 94.25 104.6 94.85 95.66
පශු සම්පත් රක්‍ෂණ යෝජනා ක්‍රමය 8.90 13.74 9.00 10.56 13.39
ගබඩා/ කෘෂි උපකරණ හා තෙවන පාර්ශවීය රක්‍ෂණ යෝජනා ක්‍රම 1.53 0.62 1.08 7.82 42.11
සුවසෙත හා හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රම 1..26 7.67 16.43 15.61 5.31
පොහොර සහනාධාර රක්‍ෂණ යෝජනා ක්‍රම 0.00 0.00 1006.4. 608.19 0.00
එකතුව 93.85 116.22 1,137.5 737.03 156.47

වාර්ෂික ශුද්ධ ලාභය 2013 සිට 2017 දක්වා

  2013 (රු.මිලි.) 2014 (රු.මිලි.) 2015 (රු.මිලි.) 2016 (රු.මිලි.) 2017 (රු.මිලි.)
මුළු ආදායම 101.50 122.5 1,156.10 782.20 5735.1
මෙහෙයුම් වියදම (170.90) (75.50) (1,116.10) (404.50) (5654.2)
මෙහෙයුම් අතිරික්තය (69.40) 47.30 40.00 377.70 80.9
රාජ්‍ය ප්‍රදාන හා අනෙකුත් අදායම් 76.80 74.80 100.80 122.50 130.1  
මුළු වියදම් (වෙන් කිරීම්ද ඇතුළුව) (89.30) (104.00) (132.00) (160.30) 168.7
වාර්ෂික ශුද්ධ ලාභය/ අලාභය (81.90) 17.80 8.80 339.90 42.3

2018 වාර්ෂික අයවැය සඳහා මෙම මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව වී, බඩඉරිඟු, සෝයා, ලොකුළුෑණු, මිරිස් හා අර්තාපල් වගාවන්ට ගංවතුර, නියඟය හා වන අලින්ගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රු.40,000/-ක උපරිම වන්දි මුදලක් ගෙවීමේ දායකත්ව රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2018 අයවැය යෝජනා මඟින් තීරණය විය. ඒ අනුව, ගොවීන්ගෙන් අක්කරයක් සඳහා රු. 675/-ක රක්‍ෂණ වාරික මුදලක් පමණක් අයකර ඉතිරි රු.2,925/-ක රක්‍ෂණ වාරික මුදල රජය මඟින් යෙදවීමට යටත්ව ඉහත බෝග සඳහා අක්කරයකට රු. 40,000/-ක වන්දි මුදලක් ගෙවීමේ රක්‍ෂණ යෝජනා ක්‍රමයක් මණ්ඩලය මඟින් සැලසුම්කර 2017/2018 මහ කන්නයේ සිට කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද අතර, එය 2017 වර්ෂයේ මණ්ඩලයේ ක්‍රියාකාරකම් අතර සුවිශේෂී ක්‍රියාකාරකමක් වශයෙන් සඳහන් කළ හැක.

මණ්ඩලයීය රක්‍ෂණ යෝජනා ක්‍රම ක්‍ෂේත්‍ර මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා පෙර වර්ෂවලදී මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොවි සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු එම ආයතනවල නිලධාරීන්ගේ සහයෝගය 2017 වර්ෂයේදීද අඛණ්ඩව ලබා ගන්නා ලදී. ඊට අමතරව තෙවන පාර්ශවීය රථ වාහන රක්‍ෂණ යෝජනා ක්‍රමය ඇතුළු සාමාන්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රම ව්‍යාප්ත කිරීම සඳහා මණ්ඩලය විසින් පවත්වාගෙන යන ලද බාහිර නියෝජිත ජාලයට ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රමුඛව බාහිර නියෝජිතයන් විශාල ප්‍රමාණයක් බඳවාගෙන එම නියෝජිත ජාලය පුළුල් කිරීමටද කටයුතු කර ඇත. ඒ අනුව, සහනාධාර පොහොර වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වූ අනිවාර්ය වගා රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ ආදායම් මණ්ඩලයට අහිමි වූවද, අනෙකුත් රක්‍ෂණ යෝජනා ක්‍රම සීඝ්‍ර ලෙස වර්ධනය කර ගැනීමට 2017 වර්ෂයේදී හැකියාව ලැබී ඇත. එහිදී කෘෂි උපකරණ හා තෙවන පාර්ශවීය රථවාහන රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ 2016 වර්ෂයේදී මණ්ඩලය උපයාගත් රු.මි.7.82ක ආදායම 2017 වර්ෂයේදී රු.මි. 42.11 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී ඇති අතර, බාහිර නියෝජිත ජාලය පුළුල් කිරීම ඒ සඳහා බෙහෙවින් ඉවහල් වී ඇති බව සඳහන් කළ යුතුය.

වළක්වා ගත නොහැකි විපත් මඟින් වගා හානි සිදුවීම් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිව බැවින්, හානි තක්සේරු කිරීම සඳහා යොදාගත් ඇස් මට්ටමේ පරීක්‍ෂාව වෙනුවට නව විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්‍රමවේදයක් යටතේ නිවැරදි හා කඩිනමින් හානි තක්සේරු කිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය පැන නැඟුණි. ඒ අනුව, කාළගුණික හා දේශගුණික දත්ත අනුව දර්ශක මත පදනම් වූ රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියක් ලෝක බැංකුව හා අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ  (IFC) තාක්‍ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම මණ්ඩලය විසින් ආරම්භ කරන ලදී. එහිදී කාළගුණික දත්ත ලබාගැනීමේ හැකියාව ගොවි ප්‍රජාවගේ පැතිරීම හා කෘෂිකාර්මික වගා බිම් ව්‍යාප්තිය යන සාධකයන්ට අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, වව්නියාව හා අම්පාර යන දිස්ත්‍රික්ක මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගන්නා ලදී. අදාල දිස්ත්‍රික්කවල මණ්ඩලීය කාර්ය මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා කාළගුණ විද්‍යා දෙපොර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන් හා ගොවි සංවිධාන වල නියෝජිතයින් සහභාගී කරවා ගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීමේ හා පුහුණු වැඩ සටහන් පවත්වා 2017 වර්ෂයේදී මෙම දර්ශක මත පදනම් වූ රක්‍ෂණ යෝජනා ක්‍රමය වැඩි වර්ධනය කිරීමට කටයුතු කරන ලදී.

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම‌යේ බඳවාගැනීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටළු මඟහරවා ගැනීම සඳහා එම යෝජනා ක්‍රමය ප්‍රතිසංවිධානය කරන ලෙස මණ්ඩලය වෙත ලද උපදෙස් අනුව, උද්ධමනය හා මූර්ත අගය සැලකිල්ලට ගනිමින් නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කර අමාත්‍යංශය මඟින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලදී. එම යෝජනා ක්‍රමය විද්වත් කමිටුවකට යොමු කර උපදෙස් ලබා ගත යුතු බවට අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් නිරීක්‍ෂණ ඉදිරිපත් කර ඇති බැවින් යෝජිත එම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය විද්වත් කමිටුවකට ඉදිරිපත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත යොමුකරන ලදී. ඒ අනුව, 2017 වර්ෂයේදීද ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට නව බඳවා ගැනීම් සිදුනොවූ නමුදු එම වර්ෂයේදී විශ්‍රාම වැටුප්ලාභීන් 148,085 දෙනෙකු වෙත රු.මි.2,686ක් විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති අතර දායකයන් 419 දෙනෙකු වෙනුවෙන් මරණ පාරිතෝෂික වශයෙන් රු.7,987,296/-ක මුදලක් ගෙවා ඇත.

2017 වර්ෂය අවසන් වන විට ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ මුළු දායක සංඛ්‍යාව 69,046ක් වූ අතර විශ්‍රාම වැටුප්ලාභීන් 4,037 දෙනෙකු වෙත රු.මි.59.8ක් ධීවර විශ්‍රාම වැටුප් වශයෙන්ද, දායකයන් 40 දෙනෙකු වෙනුවෙන් රු. 495,800/-ක මුදලක් මරණ පාරිතෝෂික වශයෙන්ද ගෙවා ඇත.

2017 වර්ෂයේදී මියගිය හා සේවයෙන් ඉවත් වූ මණ්ඩලීය සේවක සංඛ්‍යාව 15ක් වන අතර, නව බඳවාගැනීම් වශයෙන් සංවර්ධන නිලධාරී තනතුරු 10ක් සඳහා අභ්‍යන්තරිකව බඳවා ගැනීම් පමණක් සිදුකර ඇත. අනුමත කාර්ය මණ්ඩල සංයුතියට අනුව නියමිත කාර්ය මණ්ඩලය 421ක් වුවද, ඒ වන විට සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 302ක් පමණක් විය. ඒ අනුව, පුරප්පාඩු සේවක සංඛ්‍යාව 119කි.

දේශීය කෘෂිකර්මාන්තයේ හා කෘෂිකාර්මිකයාගේ සුරක්‍ෂිතභාවය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලද 2017 වර්ෂයේදී මණ්ඩලීය ක්‍රියාකරකම් හා කාර්යය සඵලතා මෙම වාර්තාව මඟින් ඉදිරිපත් කරනු ලබයි.